අහෝ! සේකර, දයාවතී මියගියා.
අපට මෙ තරම් ජරාජීර්ණ පරිසරයක් උදාකරදීම ගැන අවුරුදු හතලිහක් තිස්සෙ තම වටිනා ඡන්දය භාවිතා කළ අප්පච්චී ද වගකිව යුතු බව මා විසින් තර්ක කරමින් ගෙවූ උණුසුම් සැඳෑවක තර්කයෙන් පලාගිය අප්පච්චී එල්ලා ගත් මුහුණින් තමන් කැමති පුවත් යන නාලිකාව බලන්නට විය.දිගින් දිගටම වාර්තා වූ ළමා අපචාර, දූෂණ මධ්‍යයේ අදත් එවැනිම පුවතක් විකාශය විය.
පුවතක් - දේශපාලුවෙකුගේ නිවසේ සේවය කළ බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යයි. අතවරයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේ සඳහන් වෙයි. මෙය ඝාතනයක් ද යන්න සැකයක් මතුවී ඇත.(සත්‍ය සිදුවීමකි.නම් ගම් මනක්කල්පිතයි )
ඇයගේ මුහුණ හඳුනා ගැනීම රටටම ඉතා වැදගත් නිසා ටීවී තීරයේ ඇගේ මුහුණ විශාලනය කොට සමීප රූපයකින් පළ විය.වතුකරයේ ජීවත් වූ අවුරුදු දහසයක් වයසැති ශාලිනී දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී මෙසේ මිය ගොස් තිබුණේය. ඉහත ප්‍රවෘත්තිය 1977 මහගම සේකරයන් අතින් ලියැවුණු "ප්‍රබුද්ධ" ග්‍රන්ථයේ එන "දයාවතී" ගැන මට සිහි ගැන්වීය.
දයාවතී ගියේ දයාව නිසාම වේ
ගෙවල් මිදුල් අතු ගාගෙන,
ඉවුම් පිහුම් කර කියාන, පුංචි පුතා රැක බලාන,
කාගෙත් හොඳ හිත දිනාන, "අපි හිතුවේ පෙර පිනකින් ලැබුණා මයි ඒ උනාට ඈ හිටියේ මාස දෙකයි"
පවුලේ වැඩිමලා මමයි; අම්මා දළු කඩන්ට යනවා පාන්දරම
ගෙදර එන්නේ රෑ වෙනකොට, ඒ එනකල් ගෙදර ඉඳන් නංගිලායි මල්ලිලයි බලාගෙන හිටියෙ මං.
ගෙනත් කඩයෙන් පාන් පිටි කාලක්
කඩා මයියොක්කා කොළත් අහුරක් ලියා පිටි අනා මුසුකොට - සදා රොටියක් බෙදා ගෙන එය හතට අපි කනවා දවාලට. දවසක් දා මහ රෑ දෙගොඩ හරියෙ
කුස්සියෙ නිදා සිටිය ඈ අඬනවා ඉකි ගහ ගහ
"නෝනා මහත්තයා! ගෙදර යන්න ඕනෑ මට"
ඇයි ඒ?
වැඩපොළ වැඩි හින්ද ද? පඩි නඩි මදි හින්ද ද? අපෙන් වැරැද්දක් වුනා ද?
අපි කනබොන හැටියට දයාවතීට දුන්නා.ගමනක් බිමනක් යනකොට දයාවති එක්කන් ගියා,අපේම කෙනකුට වගේ සැලකුවේ
"ඒ ඔක්කොම ඇත්තයි ඒ උනාට බඩ පුරාම බත් කනකොට
විනෝද ගමනක් යනකොට නංගිලායි මල්ලිලයි අම්මලයි
ඔක්කොම මට මතක් වෙනවා;
මටත් කන්ඩ බෑ එතකොට; අම්මත් එක්ක එකට දළු කඩන්න
ඒ ගොල්ලන් එක්ක එකට දුක් විඳින්න
ගෙදර යන්න ඕනෑ මට"
දයාවතී ලා ශලිනි ලා අදටත් හිඟ නැතිය. එදා වතුකරයේ සේකර දුටු සමාජ තත්වය දිළිඳුකම "ප්‍රබුද්ධ" ලියැවී වසර හතලිස් පහක් ගෙවුණු තැනකද වෙනස් වී නොමැත.බාලවයස් දැරියන් මෙහෙකාර සේවයේ යෙදවීම වතුකරයට අලුත් නොවේ. වත්තේ තේ දළු කඩනවාට වඩා නිවසක මෙහෙකාර සේවයට තම දරුවන් යවන්නට ඒ දෙමාපියන් සතුටුය.තම දරුවන් කුසට අහරක් ඇතිව, හිසට වහලක් ඇතිව නිවසක සේවය සැපයීම වතුකරයේ දෙමාපියන්ව ඉහටත් උඩින් සතුටු කරවන්නකි.තේ දළු කඩනවාට වඩා මෙහෙකාර සේවය ඔවුන්ට අනුව පහසු වූත් සැපවත් වූත් එකකි.අවුරුදු දහසයක් පිරුණු දරුවන් අපට අනුව දරුවන් වුවද වතුකර සමාජයට ඒ බරකි.සහෝදරයන් පිරිවරාගත් කුසගින්නෙන් හෙම්බත් වූ වතුකර පවුලක අවුරුදු දහසය,දාහත ඉක්මවූවන් තවදුරටත් දරුවන් නොවේ.ඔවුන් ඒ දුගී පවුලේ ගැලවුම්කරුවන් ය."මී හරක් වගේ අම්මල තාත්තලා දරුවට කන්ඩ ටිකක් දීලා ගෙදර තියාගන්ඩ බැරි උනාද?" ශලිනිගේ මවගේ විලාපයට අප නිවසින් හා සමාජයෙන් ද එල්ල වුණේ ඒ චෝදනාව යි. ඉතින් මේ විමානයෙන් බැස මේ මහ පොළොවේ පය ගසන්න යැයි මම ඔබෙන් ඉල්ලමි.
ශලිනි ලා ගිනි තැබුවේ ඔබත් මමත් ඇතුළු මේ සමාජයයි. අපි සියල්ලෝම මිනීමරුවෝ වෙමු ! වතුකරයෙන් බිහිවූ දයාවතීලා අදටත් එතැනමය.අදටත් දයාවතී ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් එක රොටිය හතකට කඩා කනු ඇත.ඉතින් දයාවතී ලා ශලිනි ලා හෙටත් බිහිවනු ඇත.ප්‍රබුද්ධ ලා සමාජයේ හිඟය. ඔවුන් මීට ඉහතදීම මරා දමා ඇත. ඔවුන්ගේ නැවත බිහිවීමක් පෙනෙණ මානෙක නොමැත.ප්‍රබුද්ධ ලා මිය ගිය සමාජයක දයාවතීලා,ශලිනිලා සුරක්ෂිත නැත.
ප්‍රබුද්ධ ලා බිහි වන තුරුම, තමන් තුළ සිටින ප්‍රබුද්ධ ඇහැරෙන තුරුම ශලිනි ලා මිය යමින් සිටි. ඉතින් ඔබ තුළ සිටින ප්‍රබුද්ධ ව ඇහැරවන්නට තවත් පමා නොවන්න. ඔබට ප්‍රබුද්ධ විය නොහැකි නම් ඔබේ දරුවා තුළින් බිහිවන ප්‍රබුද්ධ මරා නොදමන්න. ඔවුන් මේ සමාජයේ දයාවතීලා,ශලිනිලා සුරක්ෂිත කරනු ඇත.
ඔබ දුටු අනාගතයේ ඒ යහපත් දවස අදටත් පැමිණ නැත.
ඉතින් සේකර අද ඔබ නැති එකම හොඳය!

Great post👍
ReplyDeleteඇත්ත.
ReplyDeleteGreat
ReplyDeleteGood 👌❤️
ReplyDeleteවැදගත්❤️👌
ReplyDelete👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteආසම වචන❤️
ReplyDelete