සංගීත චිකිත්සාව


music therapy – Pathfinders for Autism



මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබේ.


කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්.සංගීතය යන්න හඳුන්වා ඇත්තේ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමා හා ශබ්දය මාධ්‍ය කරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි.

එසේම යම් පිළිවෙතක සකස් කරන ලද ශබ්ද වල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා තිබෙනවා.

බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ "චිත්ත වේගයන්හි භාවමය ප්‍රකාශනය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යය " ලෙසයි.

සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ.මානව සංගීතය ආකාර දෙකක් ඔස්සේ ප්‍රබේදනය වේ.

*භාව සංයමදාරී සංගීතය (Sentimental tranquilizing music)

මිනිසාගේ මානසික හා කායික සෞඛ්‍යය හා පැවැත්ම කෙරෙහි විපුල මෙහෙයක් ඉටු කරනු ලබයි. මේ සංගීතය ශ්‍රවණ⁣යේ දී කිසියම් වින්දනීය ආශ්වාදයක් තුළින් මානසික සංයමයක් සමතුලිතභාවයක් හා ප්‍රබෝධයක් ගෙනදෙයි.

*භාව ප්‍රකෝපකාරී සංගීතය (Sentimental provocative music )

මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි පැවැත්මට විශාල හානියක් සිදුකරනු ලබයි. මේ සංගීත ක්‍රමය අන්තර්ගතව ඇත්තේ අධික ඝෝෂාකාරී රිද්මගත හා නාද සංකලනයයි.

එදිනෙදා ජීවිතයේදී රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමේදි භෞතික වශයෙන් පවතින ඖෂධ භාවිත කිරීම බහුලව දක්නට ඇත.

 නමුත් මෙයින් වෙනස් වූ ප්‍රතිකාරයක් ලෙස විවිධ චිකිත්සා වර්ග දැකිය හැක.  ඒ අතර සංගීත චිකිත්සාව ආකර්ෂණීය ප්‍රතිකාරයකි. භෞතික මිනිසුන්ගේ හැඟීම් දැනීම්, සංජානනය සහ තනිව හා කණ්ඩායම් වශයෙන් ජීවත්වීමේදී වැඩි දියුණු විය යුතු ගුණාංග දියුණු කිරීමට සංගීත චිකිත්සාව තුළින් හැකි වේ. 


සංගීත චිකිත්සාව බහුලව භාවිතා වන්නේ මානසික හා කායික අපහසුතා හේතුවෙන් රෝගී වූ අය සඳහා ය. රුධිර පීඩනය අවම කිරීම, ස්වසන ක්‍රියාවලිය දියුණු කිරීම, හෘද ස්පන්දනය ක්‍රමවත් කිරීම වගේම මාංශ පේශි පීඩනයද අවම කර මාන මානසික සැහැල්ලුව ඇති කිරීමට සංගීත් චිකිත්සාවට හැකියාව තිබේ.මෙම චිකිත්සාව මානසික අපහසුතා අවම කිරීමට බොහෝ සෙයින් යෝග්‍ය වේ. ආකල්ප හැගීම් හැසිරීම් මත ඇතිවී ඇති අයහපත් තත්ත්ව නැති කිරීමටද හැකි වේ. 


මෙම චිකිත්සාවෙ අයහපත් පැතිකඩ වන්නේ චිකිත්සකවරයාගේ තෝරාගැනීම රෝගියාට යම් විදියකින් නොගැලපී ගියහොත් එයින් රෝගියා මත ව්‍යාකූල තත්වයක් ඇතිවීමයි. ගීත හා නාද රටා භාවිතයේදී ඒවයේ අර්ථ  හා රෝගියාට යෝග්‍ය බව ගැන චිකිත්සකවරයා නිසි අවදානය යොමු නොකළහොත් එය ප්‍රබල ගැටලුවක් වේ. සංගීත චිකිත්සාව සඳහා යුරෝපීය රටවල් සංධ්වනි, කැන්ටාටා, සොනාටා, වැනි සංගීත කෘති භාවිතා කරන අතර ආසියාතික රටවල් රාග තාල විශේෂයෙන් යොදා ගනී. 


ශ්‍රී ලංකාව තුළ  චිකිත්සාව සඳහා නැළවිලි ගී හා ශාන්තිකර්ම ගී භාවිතා කරයි. කොහොඹා කංකාරිය, බලි යාග, තොවිල්, පිරිත් සජ්ජායනය, ගැබිණියගේ නිවසින් ඇසෙන අංගුලිමාල පිරිත්, අපේ දේශීය නාද රටා ඇසෙන හේවිසි හඬ, පෙරහැරවල් ආදී මේ සියල්ල රටට මෙන්ම ජනතාවට ඇතිවන බිය, කරදර දුරු කරලීමට යොදා ගත් සාම්ප්‍රදායික සංගීත රිද්මය මුසු ක්‍රමවේද වේ.මීට වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සංගීත චිකිත්සාව යොදා ගෙන ඇත.


Comments

Post a Comment

Popular posts from this blog