අඳුර  ඇඳගෙන  ඇත්තු ඇවිදින්...


Sri Lankan elephants eating garbage at a refuse facility captured in  harrowing images | Daily Mail Online


 සංහිදේ දෙවියන්ගෙ පාමුල 

 කඳුළු කියලා එන වෙලේ

 වැව් කොනේ තනි එකා ඉඳලා

 දිවුල් හෙව්වද උඹේ කුසේ

 අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින් 

 හරිම මූසල මන්ඩියේ

 වැවේ දෙවියනි මේ තියෙන්නෙ

 අපි උදේ කෑ වැල් අලේ.. 


headphone එක දාගෙන youtube එකෙන් වෙනස් විදිහේ ගීත නිර්මාණ රස විඳිමින් ඉන්න අතරේ එක්තරා ගීයක් මුණගැහුණා. ගිය ගැයුනේ අපේ හෙළ ජන කවියා සමන් ලෙනින් සහෝදරයා ගේ හඬින්.මාල හතක් දාලා ආදරයෙන් කැන්දන් ඇවිත්, කඳුළු බිබී, අඩියෙන් අඩිය දැනුනු දුක උහුලන් අපි ගියේ ලස්සන අනාගතයක් හොයාගෙන. හීන වලින් පිරුණු මේ ලෝකේ පුංචි පුතා එනකන් ඇගිලි ගැන්න මතකද? ගීතය මධ්‍ය  ඉඩක ඔහු යළිත් වැලපේ.

 අලි හිතක් ඇයි අඩිය තිබ්බෙ

 පොඩි පුතා සැතපුණ කුසේ 

සුජීව හෙට්ටිතන්ත්‍රී අපේ කවියා සැන්දෑ යාමෙක පෑන් තුඩෙන් කඩදාසි අතර  ඒ දිග හරින්නට ඇත්තේ සද්දන්ත ජීවිත එක්ක ජීවිතේ දුක උහුලන ඈත පිටිසර ගම්මානවල වෙසෙන අපේම ජනතාවගේ දුක්ඛිත පරිච්ඡේදයක තවත් එක් නැවතුමක් ගැන වන්නට ඇත.

ෆෝන් එක පැත්තකින් තියල මම හෙමිහිට සාලය දිගේ ඇවිදගෙන ගියා. හතේ ප්‍රවෘත්ති යනවා. රූපරාමු දැක්කා. විදුලි සැර වැදිලා විදුලි වැට මුලම ජීවිත වලට සමුදුන්න අලි දෙන්නෙක්..  අලි-මිනිස් ගැටුම ගැන අපි කතා කරන්නට පටන් ගන්නේ අද ඊයේ නොවෙයි. අලි මිනිස් ගැටුම නිසා බාල, මහලු, ගැහැණු,  පිරිමි වෙනසක් නැතුව තමන්ගේ ජීවිත වලට සමුදෙනවා.  මහා පරිමාණ කෘෂිකාර්මික වාරිමාර්ග ජනපද,මහවැලි ව්‍යාපාරය, නිවාස ව්‍යාපෘති මේ හැම දෙයක්ම නිසා අපේ රටේ අලි මිනිස් ගැටුම්  1995 පමණ දරුණු තත්වයකට පැමිණ තිබුණා. අද ඒ තත්ත්වය ඊටත් වඩා අයහපත්. 

2019 records highest number of elephant deaths in Sri Lanka

අලියෙකුට දිනකට ආහාර කිලෝග්‍රෑම් විස්සක්, ජලය ගැලුම් හැටක් පමණ අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණය ලබාගන්න අලියා දිනකට කිලෝමීටර් විස්සක් කැලෑ පුරා ගමන් කරනවා. වන විනාශය, අනවසර ඉදිකිරීම්, හේන් වගාව නිසා අලියා ඒ දුර ගෙවා යන අතරේ නිවාස ගම්මාන හමු වෙනවා.

අලි  පැමිණෙන කළ දිවි බේරා ගන්නටත්, බොහෝ දුක්ගැහැට විඳිමින් වෙහෙස මහන්සියෙන් වපුරා එක්තු කෙරූ බෝග අස්වනු  බේරා ගන්නටත් දෙවරක්  නොසිතා පසුබට නොවන මිනිසුන්   අද අලින්ට වෙඩි උණ්ඩ තබන්නටත් යොමුවෙලා.

මෙහි නිමාව කොතනක ද? නිමාව ඇත්තේ ඔබ අපි ළඟ ය.

 අලි මිනිස් ගැටුම් වැළැක්වීමට අප රටේ වනජීවී කලාප නිවැරදි පරිපාලනයක් යටතේ වනයේ වෙසෙන සත්වයින්ට ආරක්ෂාකාරී මෙන්ම ආකර්ෂණීය ලෙස සකස් කළ යුතුය. එසේම අලින්ගේ ගමන් මාර්ගයන්හි ගොඩ නගා ඇති උදාගම්මාන රජයේ විවිධ ව්‍යාපෘති ඉවත් කිරීම හා නැවත ඇති කිරීමෙන් වැළකී සිටියි යුතුය. සත්වයින්ට අවශ්‍ය තරම් ආහාර පාන ගැනීමට වනාන්තර තුළ නව ජල ප්‍රභව, තෘණ භූමි ආදිය ඇති කිරීම මෙන්ම අලි පටි (elephant belt) විදුලි වැටවල් නිසි ප්‍රමිතියෙන්, ආරක්ෂාකාරීව, වඩාත් පලදායි අයුරින් සැකසීම වැනි එකී මෙකී නොකී බොහෝ විසඳුම් අප ළඟ නැතුවා නොවේ. 

අලි මිනිස් ගැටුම් හේතුකොටගෙන වාර්ෂිකව අපට අහිමි වී යන අලින්ගේ ජීවිත ද දහස් ගණනින් වැඩි වෙමින් පවතිනවා. දැනටමත් වඳ වී යන සත්ත්වයෙක් ලෙස රතු දත්ත පොතට එකතු වූ අලින්ගේ ජීවිතද නිකරුනේ අහිමිවී යන වටිනා මිනිස් ජීවිත ද රැක ගැනීමට නැගී සිටීම ඔබේත් මගේත් අත්හළ නොයුතු යුතුකමක් බව සිහි තබා ගන්න.

 සැප රියෙන් ගමට වැඩල, දුක් වේදනා කන් දෙකෙන් අසා මොළයට නොහෙන මග දමා යන,ගොස් බොහෝ ගරුබුහුමන් ලබන,තුන්වේල පදමින් බුදින බොහෝමයක් දේශපාලුවන්ගේ දෙඇස් ඇරෙන තුරු බලාසිටියොත් කැළෙත් අහිමිව කොළත් අහිමිව ගිය අලි ඇතුන් ද, උක්ත ගීයේ කියූ වැල් අල කාලා කඳුළු බොන අහිංසක මිනිස් ජීවිතද, අපේ මේ ලක්බිම ටත්, එයින් එහා ගිය කළ මුළු මහත් සොබාදම් මාතාවටත් දිනෙන් දින අහිමිවී යන වේගය තවදුරටත් වැඩි වනු ඇත.

මිරිස් හේනක දුව පනින්නට

පුතත් එක්කල මහ වනේ

නංගියේ උබ ඇවිත් යනවද

හීනයක හෙට කලුවරේ...

ඔවුන් හීනෙක එකතුකොට කළුවරක ඔහු අවසානයේ තනි වේ. ගීපද කියෙව්වට කඳුළු බිංදුවක් හැලුවාට කම් නැත. 

                         ඉතින් ඔබ තරහද උන් එක්ක ?

 අපේ බර උන් කරේ තියාගෙ ගව් ගණන් දුර ගෙව්වා, බර කොට උස්සන් රාජකාරි කෙරුවා,  සුද්දන් ආ කළ ලක්මවගේ ආසිරි පෙන්නන්නට කරේ තබාගෙන ගෑටුවා, ඇඟ කසා දාන සේද රෙදි බල්බ් වැල් පොරවන් පෙරහරේ අසිරියට රැඟුවා. ඉවසනු බැරි තැන පිහිටක් හොයාගෙන අපේ ගම් බලා ආවා.

                                  නවතිමු....

උන් අපේ ගමට ආවද? 

අපි උන්ගෙ ගමට ගියාද?

පිළිතුරක් නොදත් සේ අවසන ප්‍රශ්නාර්ථයක් නොතබා කොමාවක් තබා පියවරක් ගමු අපි...

       නැවතීමේ තිතක් සොයා!

Comments

Post a Comment

Popular posts from this blog